දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි දිනවලදී තවදුරටත් වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණ කර තිබේ. මෙම පද්ධතියේ සෘජු බලපෑමක් මෙරටට නොමැති වුවද, එය වෙත ඇදීයන ප්‍රබල සුළං ප්‍රවාහ හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් තීව්‍ර වනු ඇති බව අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි පතිත විය හැකි බවට නිවේදනය කර ඇත.
මීට අමතරව, උතුරු මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් අපේක්ෂා කළ හැකි අතර, ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගත හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.
පවතින කාලගුණික තත්ත්වයත් සමඟ ඇතිවිය හැකි ගිගුරුම් සහිත වැසි සහ තාවකාලික තද සුළං මෙන්ම අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා ජනතාව දැඩි විමසිල්ලෙන් හා ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුව ඇත. ඉදිරි දිනවලදී දේශගුණික විපර්යාසයන්ගේ ස්වභාවය මත මෙරට වැසි රටාව තවදුරටත් වෙනස් වීමට ඉඩ ඇති බැවින්, අදාළ අංශ විසින් නිකුත් කරනු ලබන කාලගුණ අනතුරු ඇඟවීම් පිළිබඳව නිරන්තර අවධානයෙන්පසුවීම අත්‍යවශ්‍ය වේ.














