ශ්‍රී ලංකාවේ මෝටර් රථ අංශයේ ප්රමුඛ පෙළේ ආයතනයක් වන අයිඩියල් මෝටර්ස් (පුද්) සමාගම, 2026 වසරේ කීර්තිමත් ‘Great Place to Work®’ සම්මාන උළෙලේදී සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කරමින් කුඩා හා මධ්‍ය පරිමාණ කාණ්ඩයේ අංක 1 ස්ථානය හිමිකර ගනිමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබේ. කොළඹ සිනමන් ලයිෆ්ී හිදී පැවැති මෙම අභිමානවත් සම්මාන ප්රදානෝත්සවයේදී, තරුණ දක්ෂතා සඳහා වන විශිෂ්ට සේවා ස්ථාන 20 අතරට ද තේරී පත්වූ මෙම ආයතනය, ශ්‍රී ලංකාවෙන් ඔබ්බට යමින් ආසියාවේ හොඳම සේවා ස්ථාන අතර 18 වැනි ස්ථානයට පත්වෙමින් මෙරට ආයතනික ඉතිහාසයේ නව පිටුවක් විවෘත කළේය.
මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණය හුදෙක් සම්මානනීය අවස්ථාවකට සීමා නොවී, ආයතනය තුළ මානව සම්පත් කළමනාකරණය හුදු පරිපාලන රාමුවෙන් මුදා හරිමින් උපායමාර්ගික ව්‍යාපාරික හවුල්කරුවෙකු ලෙස පරිවර්තනය කිරීමේ ප්‍රතිඵලයක් බව ආයතනික විචාරකයෝ පෙන්වා දෙති. සේවක අත්දැකීම් ඉහළ නැංවීම, වෘත්තීය හැකියාවන් සංවර්ධනය කිරීම, දත්ත මත පදනම් වූ මානව සම්පත් භාවිතයන් මෙන්ම සේවකයින්ගේ යහපැවැත්ම සහ ඇතුළත් කිරීමේ සංස්කෘතිය අඛණ්ඩව පවත්වාගෙන යාම හරහා අයිඩියල් මෝටර්ස් සිය සේවකයින් ආයතනයේ සැබෑ හදවත බවට පත් කරගෙන තිබේ.
මෙම ජාත්‍යන්තර මට්ටමේ ඇගයීම ශ්‍රී ලංකාවේ ආයතනික අංශය තුළ සේවායෝජකයන් සහ සේවකයන් අතර පවතින සබඳතා වඩාත් ධනාත්මක දිශාවකට හැරවීමට මෙන්ම සෙසු ව්‍යාපාරික ආයතනවලටද මහත් ආදර්ශයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අනාගතයේදීත් මෙරට තරුණ දක්ෂතා සඳහා අර්ථවත් රැකියා අවස්ථා සහ හරවත් වර්ධන මාර්ග නිර්මාණය කරමින්, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට මෙන්ම ආයතනික විශිෂ්ටත්වයට අයිඩියල් මෝටර්ස් ආයතනය තවදුරටත් ප්‍රබල දායකත්වයක් ලබා දෙනු නිසැකය.
















