ජාතික කඩදාසි සංස්ථාවේ සභාපතිවරයාගේ රියදුරු, ඔහු පරිහරණය කළ කැබ් රථය ද සමග අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසනවා.
කොළඹ 06, ස්ටැෆර්ඩ් පාරේ පිහිටි ප්රධාන කාර්යාලයේ සිට සභාපතිවරයා රැගෙන ඒම සඳහා කඩවත පිහිටි ඔහුගේ නිවස වෙත යමින් සිටියදී රියදුරු අතුරුදන්ව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
කැබ් රථය නියමිත වේලාවට සභාපතිවරයාගේ නිවසට නොපැමිණීම හේතුවෙන් සභාපතිවරයා දුරකථන ඇමතුමක් ලබාදී ඒ පිළිබඳව විමසා තිබෙනවා. එහිදී රථයේ ඉන්ධන කාන්දුවක් ඇති බව රියදුරු දැනුම්දී ඇති බව පොලිසිය පවසනවා.
ඒ අනුව, කඩවත ප්රදේශයේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයකට රථය රැගෙන ගොස් පරීක්ෂා කරන ලෙස සභාපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. එම ස්ථානයේ කාර්මිකයන් රථයේ කිසිදු දෝෂයක් නොමැති බව රියදුරුට දැනුම්දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
පෙරේදා (21) සවස 4.00 පමණ වනතුරුත් රියදුරු කාර්යාලයට නොපැමිණීම හේතුවෙන් ඔහු දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද, ඒ වන විට ඔහුගේ දුරකථනය විසන්ධි වී තිබූ බව පැමිණිල්ලේ සඳහන්.
රියදුරුගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තා සහ සීසීටීවී දර්ශන ඔස්සේ ඇතුළු පැති කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කිරීමට නියමිත බව පොලිසිය පවසනවා.
අතුරුදන්ව ඇති රියදුරු රාගම, කැන්දලියද්දපාලුව ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්.
වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වී. ගනේවත්ත මහතා ඇතුළු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.














