ශ්‍රී ලංකාවට ලබා දී ඇති බදු සහන සහ රටට ලබා දෙන අඛණ්ඩ සහයෝගය අගයමින් මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංමගල මහනායක හිමිපාණන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපති එරික් මේයර් මහතා බැහැරට සාකච්ඡුා පවත්වා තිබේ. නව තානාපතිවරයා මහනුවර මල්වතු සහ අස්ගිරි මහා විහාර වෙත ගොස් උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී මෙම අදහස් පළ වී ඇති අතර, ලෝකයේ විවිධ රටවලට ඉහළ බදු පැනවීම් සිදුකළද අමෙරිකාව ශ්‍රී ලංකාවට විශේෂත්වයක් කරමින් බදු අඩු කිරීමට කටයුතු කිරීම උන්වහන්සේගේ ඇගයීමට ලක්විය.
ඉන්දීය සාගර කලාපයේ දෙරට අතර පවතින දිර්ඝ කාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති අතර, මීට පෙර දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකික ජනතාවට අමෙරිකාව ලබා දුන් සහයෝගයද තානාපතිවරයා සිහිපත් කළේය. ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමඟද තානාපතිවරයා සුහද පිළිසඳරක යෙදී තිබේ.














