කින්නියා, කුරින්ජන්කේනි පාලමේ ඉදිකිරීම් කටයුතු 2027 වසරේ මාර්තු මාසය වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, පාලමේ ඉදිකිරීම් අවසන් වන තෙක් ප්‍රවාහන කටයුතු සඳහා පාලම්පාරුවක් යොදවා ඇති බවත්, ඉදිකිරීම් නිම වීමෙන් පසු එම පාරු සේවාව තවදුරටත් අවශ්‍ය නොවන බවත් පැවසීය.
මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු 2021 වසරේදී ආරම්භ කර ඇති අතර, මීට පෙර එහි තිබූ තාවකාලික බෝට්ටු සේවාව විධිමත්ව සිදු නොවීම හේතුවෙන් ළමයින් ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු දියේ ගිලී මියගිය ඛේදවාචකය අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය. දැනට මෙම පාලමේ භෞතික ප්‍රගතිය 63%ක් වන අතර, ඉදිරි මාස කිහිපය තුළ එහි වැඩ අවසන් කර ජනතාවට පහසුකම් සලසා දීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














