ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීම, සුනඛයින් ලියාපදිංචි කිරීම සහ සුනඛ ගහනය පාලනය කිරීම අරමුණු කරගත් නව පනත් කෙටුම්පතක් අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා විසින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබුවා.
මෙම පනත් කෙටුම්පත මඟින් සුනඛයින් එන්නත් කිරීම සහ ඔවුන්ගේ ගහනය පාලනය කිරීම විධිමත් කිරීම, වාණිජ අරමුණු සඳහා සුනඛයින් අභිජනනය කිරීම නියාමනය කිරීම සහ සුනඛයින් ලියාපදිංචි කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීම අපේක්ෂා කෙරෙනවා.
එමෙන්ම ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා ජාතික උපදේශක කමිටුවක් සහ ප්‍රාදේශීය උපදේශක කමිටු පිහිටුවීමට ද පනත් කෙටුම්පතෙන් විධිවිධාන සැලසීමට නියමිතයි.
නව පනත් කෙටුම්පත සම්මත වීමත් සමඟ ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත සහ බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඉවත් කිරීමට යෝජනා කර තිබෙනවා.
මෙම පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම හෙට (25) දිනයේදී සිදු කිරීමට නියමිතයි.













