දශක කිහිපයක් පුරා පවතින අලි-මිනිස් ගැටුමට තිරසාර සමාජ, ආර්ථික හා පාරිසරික විසඳුම් සෙවීමේ අරමුණින් නව ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුවේ ක්ෂේත්‍ර අධ්‍යයනය අද (24) ආරම්භ කර තිබෙනවා.
කැබිනට් අනුමැතිය ලද මෙම විද්වත් කමිටුව බිම් මට්ටමේ තොරතුරු රැස් කරමින්, විද්‍යාත්මක හා ප්‍රායෝගික පදනමක් මත ගැටුමට විසඳුම් හඳුනා ගැනීමට කටයුතු කරනවා.
ප්‍රථම ක්ෂේත්‍ර අධ්‍යයනයේදී පාළුකඩවල ගම්මාන විදුලි වැට, ඇතිනිමලේ කෘෂි විදුලි වැට සහ ඒරු වැව ග්‍රාමීය විදුලි වැට පද්ධති නිරීක්ෂණය කිරීමට නියමිතයි. එම පද්ධතිවල සාර්ථකත්වය හා දුර්වලතා අධ්‍යයනය කිරීමත්, ගම්වාසීන් සහ ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳ අදහස් ලබා ගැනීමත් මෙහි අරමුණ වී තිබෙනවා.
ක්ෂේත්‍ර අධ්‍යයනයෙන් ලබාගන්නා තොරතුරු සහ විද්‍යාත්මක නිරීක්ෂණ මත පදනම්ව, අලි-මිනිස් සහජීවනය තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි තිරසාර විසඳුම් ඇතුළත් නව ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට අපේක්ෂා කරනවා.














