ලබන 30 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව මීළඟ මුදල් ප්‍රතිපත්ති තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, එහිදී පොලී අනුපාතිකය වෙනස් නොකර පවත්වාගෙන යනු ඇති බවට ෆස්ට් කැපිටල් මූල්‍ය පර්යේෂණ ආයතනය අනාවැකි පළ කර තිබෙනවා.
එම ආයතනය නිකුත් කළ පූර්ව විශ්ලේෂණයක දැක්වෙන්නේ, මහ බැංකුව සිය එක්දින ප්‍රතිපත්ති අනුපාතිකය සියයට 8.75 මට්ටමේම පවත්වාගෙන යාමට සියයට 60ක සම්භාවිතාවක් පවතින බවයි. එමෙන්ම පොලී අනුපාතිකය පදනම් අංක 50කින් ඉහළ නැංවීමට සියයට 40ක සම්භාවිතාවක් පවතින බවද එහි සඳහන්.
මැයි මාසයේදී සිදුකළ පදනම් අංක 100ක පොලී අනුපාතික ඉහළ නැංවීම තවමත් ආර්ථිකයට බලපාමින් පැවතීම සහ ලබන අඟහරුවාදා සිට ක්‍රියාත්මක වන නව සංචිත අවශ්‍යතා වෙනස්කම් හේතුවෙන් පොලී අනුපාතික තවදුරටත් ඉහළ නැංවීමකින් තොරව බැංකු පද්ධතියේ අතිරික්ත ද්‍රවශීලතාව අවශෝෂණය කරගත හැකි වීම මෙම පුරෝකථනයට හේතු වී තිබෙනවා.
මේ අතර, මහ බැංකුවේ සියයට 5ක ඉලක්කයට වඩා ඉහළින් යමින් අගෝස්තු මාසයේදී උද්ධමනය සියයට 8 දක්වා ඉහළ ගොස් ඇති අතර, ජූලි මාසයේදී මෙරට වෙළෙඳ හිඟය අමෙරිකානු ඩොලර් බිලියනයකට වඩා පුළුල් වී තිබෙනවා.
කෙසේ වෙතත්, ඉහළ යන ගෝලීය තෙල් මිල සහ එල් නිනෝ බලපෑම හේතුවෙන් ඇතිවිය හැකි ආහාර මිල අවදානම් ද මහ බැංකුවේ ඉදිරි තීරණයට බලපෑ හැකි සාධක ලෙස ෆස්ට් කැපිටල් ආයතනය පෙන්වා දෙනවා.














