ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නව වැඩසටහනකට යන්නේද යන්න තීරණය කිරීම ශ්‍රී ලංකා රජය සතු කාර්යයක් බව IMF ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ IMF වැඩසටහනේ හත්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් පැවති සාකච්ඡා අවසන් කරමින්. සැප්තැම්බර් 10 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටි IMF කණ්ඩායම හත්වැනි සමාලෝචනය සහ 2026 වසර සඳහා වන Article IV උපදේශනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කර තිබෙනවා.
IMF කණ්ඩායම සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර හත්වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සහ පරාමිතීන් සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවද IMF සඳහන් කරනවා. මේ වනවිට එම සමාලෝචනය සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ නොමැති බවද වාර්තා වනවා.
එමෙන්ම IMF වැඩසටහනක් යනු රටකට බලහත්කාරයෙන් පනවන නීති මාලාවක් නොවන බවත්, රටේ බලධාරීන් අපේක්ෂා කරන අරමුණු මත එය ගොඩනැගිය යුතු බවත් පැපජෝර්ජියෝ මහතා පෙන්වා දී තිබෙනවා.
නව වැඩසටහනක් නොමැති වුවද, වාර්ෂික Article IV උපදේශන, තාක්ෂණික සහාය සහ මූල්‍ය අංශ ඇගයීම් ඇතුළු ක්‍රමවේද හරහා ශ්‍රී ලංකාවට IMF සහාය ලබාගත හැකි බවද සඳහන්.
ශ්‍රී ලංකාව මේ වනවිට IMF සමඟ පවතින විස්තීරණ ණය පහසුකම් වැඩසටහන යටතේ හත්වැනි සමාලෝචනයට මුහුණ දෙමින් සිටින අතර, ඉදිරියේදී අටවැනි සමාලෝචනයද පැවැත්වීමට නියමිතයි.














