ඇමරිකාව හෝ ඊශ්‍රායලය යළි ප්‍රහාරයක් එල්ල කළහොත් මැදපෙරදිග පවතින යුද ගැටුම ඉන්දියන් සාගරය දක්වාත් ව්‍යාප්ත විය හැකි බවට ඉරානය අනතුරු අඟවා තිබෙනවා.
ඉරාන උත්තරීතර නායක මොජ්තාබා ඛමේනිගේ උපදේශකවරයෙකු වන මේජර් ජෙනරාල් යහ්යා රහීම් සෆාවි විසින් ඉරානයේ Fars ප්‍රවෘත්ති ඒජන්සිය නිකුත් කළ වීඩියෝවකදී මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු සඳහන් කර ඇත්තේ පර්සියානු ගල්ෆ් කලාපයේ සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ සිට රතු මුහුද දක්වා ගැටුම ව්‍යාප්ත වී ඇති බැවින්, තවදුරටත් යුද ක්‍රියාමාර්ග සිදුවුවහොත් ගැටුමේ පෙරමුණ ඉන්දියන් සාගරය දක්වා සහ ඇතැම් විට ඊටත් ඔබ්බට පුළුල් විය හැකි බවයි.
මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් ඉන්දියන් සාගරය හරහා සිදුවන බලශක්ති සහ වාණිජ නාවික ගමනාගමනයට බලපෑම් ඇතිවීමේ අවදානමක් පවතින බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම ඉන්දියාව මැදපෙරදිග සමඟ පවත්වන බලශක්ති හා වෙළෙඳ සබඳතා හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.
කෙසේ වෙතත්, සෆාවිගේ ප්‍රකාශයෙන් ඉන්දියන් සාගර කලාපයේ නිශ්චිත ඉලක්කයක් හෝ වාණිජ නෞකා සම්බන්ධයෙන් නිශ්චිත තර්ජනයක් දක්වා නොමැති බවද වාර්තා වනවා.














