ජාත්‍යන්තර තිරසර සංවර්ධන ඉලක්ක දිනය (SDG Flag Day) වෙනුවෙන් නෙදර්ලන්ත තානාපති කාර්යාලය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකා තිරසර සංවර්ධන සභාව එක්ව ඊයේ (24) කොළඹදී විශේෂ ධජ එසවීමේ උත්සවයක් පවත්වා තිබෙනවා.
එහිදී ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති Wiebe de Boer, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche සහ ජනාධිපති ලේකම් හා ශ්‍රී ලංකා තිරසර සංවර්ධන සභාවේ සභාපති ආචාර්ය නන්දික සනත් කුමනායක යන මහත්වරුන් එක්ව නෙදර්ලන්ත තානාපති කාර්යාල පරිශ්‍රයේදී SDG ධජය ඔසවා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කරන කොළඹ පිහිටි රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් සහ සිවිල් සමාජ නියෝජිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
මෙහිදී අදහස් දක්වමින් නෙදර්ලන්ත තානාපතිවරයා අවධාරණය කර ඇත්තේ 2030 වනවිට තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා අඛණ්ඩව කටයුතු කිරීමේ වැදගත්කමයි.
එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche මහතා සඳහන් කර ඇත්තේ රජය, සිවිල් සමාජය, පෞද්ගලික අංශය සහ සංවර්ධන හවුල්කරුවන්ට තිරසර සංවර්ධන ඉලක්ක ඔස්සේ ප්‍රගතිය විනිවිදභාවයෙන් මැනීමට පොදු රාමුවක් ලබාදෙන බවයි.
ධජ එසවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව 2030 වනවිට තිරසර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමේදී ලබා ඇති ප්‍රගතිය, ඉදිරියේ පවතින අභියෝග සහ Agenda 2030 යටතේ පවතින අවස්ථා පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික සහ සිවිල් සමාජ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.














