ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා අද (25) පැවැත්වෙන ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම හෘදය සාක්ෂියට එකඟව ඡන්දය ප්‍රකාශ කරන ලෙස දිනන දකුණ සාමූහිකය ඉල්ලා තිබෙනවා.
එම සාමූහිකය පවසන්නේ 22 වැනි සංශෝධනය සම්මත කරන්නේද නැද්ද යන්න තීරණය කිරීමේ වගකීම පාර්ලිමේන්තුවට මෙන්ම ඡන්දය ප්‍රකාශ කරන සෑම මන්ත්‍රීවරයෙකුටම පැවරෙන බවයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කර ඇත්තේ ජනතා විශ්වාසය දිනාගත හැක්කේ අවංකභාවය තුළින් බවත්, ව්‍යාජ මවාපෑම් හඳුනාගත් විට ජනතා විශ්වාසය බිඳ වැටිය හැකි බවත්ය.
එමෙන්ම හෘදය සාක්ෂියට එකඟව ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි මන්ත්‍රීවරුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස දිනන දකුණ සාමූහිකය වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ දෙවන වර කියවීමේ විවාදය අදින් අවසන් වන අතර, පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.













