ශ්‍රී ලංකාවට දකුණු මුහුදේදී ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් අනතුරුව දිවි ගලවාගත් ඉන්දුනීසියානු ධීවරයින් 25 දෙනෙකු ආරක්ෂිතව කොළඹ වරායට රැගෙනවිත් තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ, KM Garuda Jaya VI නමැති ඉන්දුනීසියානු ධීවර යාත්‍රාව සැප්තැම්බර් 22 වනදා පෙරළී යාමෙන් පසු එහි සිටි ධීවරයින් පිරිසක් අනතුරට ලක්ව ඇති බවයි.
ඔස්ට්‍රේලියානු සෙවුම් හා ගලවාගැනීමේ කලාපයට අයත් මුහුදු ප්‍රදේශයක සිදුවූ මෙම අනතුරින් පසු MV Moonstone නමැති වෙළෙඳ නෞකාව මඟින් ධීවරයින් 25 දෙනාම මුහුදෙන් ගලවාගෙන කොළඹ සමුද්‍රීය ගලවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට දැනුම්දී තිබෙනවා.
ඒ අනුව කොළඹ සමුද්‍රීය ගලවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව යාත්‍රා දෙකක් යොදවා ඔවුන් කොළඹට රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.
ඊයේ (24) පස්වරුවේ ධීවරයින් 25 දෙනා ආරක්ෂිතව කොළඹ වරායට රැගෙනවිත් ඔවුන්ට අවශ්‍ය මානුෂීය සහාය ලබාදීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.
අනතුරුව ඔවුන් ඉදිරි කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති කාර්යාලය වෙත භාරදී ඇති බව නාවික හමුදාව සඳහන් කළා.













