පේරාදෙණිය විශ්වවිද්‍යාලය 2026 UI GreenMetric ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාවේ අංක 1 ස්ථානය යළිත් වරක් තහවුරු කර ගැනීමට සමත්ව තිබේ. නවතම ශ්‍රේණිගත කිරීම් අනුව, රටවල් 110ක විශ්වවිද්‍යාල 2,016ක් අතරින් ලකුණු 8,262.5ක් ලබා ගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලෝකයේ 200 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.
පරිසර හිතකාමී සහ තිරසර විශ්වවිද්‍යාල පරිසරයක් පවත්වාගෙන යාම, තිරසර සංවර්ධන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සහ පාරිසරික වගකීම් සහගත භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය දක්වන අඛණ්ඩ ප්‍රගතිය මෙමඟින් පිළිබිඹු වේ. පරිසර සැකසුම, යටිතල පහසුකම්, බලශක්තිය, අපද්‍රව්‍ය හා ජල කළමනාකරණය, ප්‍රවාහනය මෙන්ම පාලනය සහ ඩිජිටල්කරණය ඇතුළු ප්‍රධාන දර්ශක කිහිපයක් පදනම් කරගනිමින් මෙම ඇගයීම සිදු කර ඇත. අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය මෙන්ම ශිෂ්‍ය ප්‍රජාවගේ සාමූහික කැපවීම මෙම විශිෂ්ට ජයග්‍රහණයට මුල් වී තිබේ.
















