හම්බේගමුව පොලිස් වසමට අයත් උණකන්ද ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ගංජා වගා කර තිබූ භූමි දෙකක් වටලා ගංජා ගස් 125,000ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළ පරිදි, පළමු වගාව අක්කර එකයි කාලක පමණ භූමි ප්‍රමාණයක පවත්වාගෙන ගොස් ඇති අතර, එහි අඩි පහක් පමණ උස ගංජා ගස් 75,000ක් තිබී ඇත. එම වගාව සම්බන්ධයෙන් හම්බේගමුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන තිබේ.
දෙවන වගාව අක්කරයක පමණ භූමි ප්‍රමාණයක පවත්වාගෙන ගොස් ඇති අතර, එහි අඩි පහක් පමණ උස ගංජා ගස් 50,000ක් තිබී ඇති බව සඳහන්ය. එම වගාව සම්බන්ධයෙන් බලහරුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකුද පොලිස් භාරයට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කර ඇත්තේ වගාවන්හි තිබූ ගංජා ගස් කපාකොටා පුළුස්සා විනාශ කළ බවයි. සැකකරුවන් සහ ගංජා ගස්වලින් කොටසක් වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවද වාර්තාවේ සඳහන් වේ.
වැටලීම හම්බේගමුව පොලිස් ස්ථානාධිපති තුෂාර සම්පත් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකර තිබේ.
















