මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවට සැක කෙරෙන ‘DJ චතූ’ නමැත්තා කුලී පදනම මත පදිංචිව සිටි පානදුර, නල්ලූරුව ප්‍රදේශයේ තෙමහල් නිවසක් වැටලූ පොලිසිය එහි තිබී හෙරොයින් සාම්පල පෙන්වීම සඳහා සකස් කළ කුඩා පැකට් 5ක් ඇතුළු මත්ද්‍රව්‍ය ඇසුරුම් සඳහා භාවිත කිරීමට සූදානම් කළ ද්‍රව්‍ය රැසක් සොයාගෙන තිබේ. පොලිසිය පැවසුවේ එම නිවසේ තිබී මත්ද්‍රව්‍ය ඇසුරුම් සඳහා මුද්‍රණය කළ කඩදාසි, මුද්‍රණයට යොදා ගැනීමට නියමිත විශේෂ කඩදාසි තොගයක්, කඩදාසි කපන යන්ත්‍රයක්, CCTV පද්ධතියක මතක කාඩ්පත් සහ ජංගම දුරකථන 3ක් ද සොයාගත් බවයි.
පානදුර කොට්ඨාස අපරාධ විමර්‌ශන කාර්යාංශයට ලැබුණු රහසිගත තොරතුරක් මත සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබාගෙන මෙම වැටලීම සිදුකර තිබේ. නිවසේ කාමරයක විශාල ප්‍රමාණයේ තිර සහ විදේශගත පුද්ගලයන් සමඟ සෘජුව සම්බන්ධ විය හැකි සන්නිවේදන උපකරණ සවිකර තිබූ බවත්, නිවසේ අභ්‍යන්තර හා බාහිර ප්‍රදේශ ආවරණය වන පරිදි CCTV කැමරා සවිකර ජංගම දුරකථන මගින් ඒවා නිරීක්ෂණය කළ හැකි ආකාරයට පද්ධතිය සකස් කර තිබූ බවත් පොලිසිය සඳහන් කරයි. පොලිස් භාරයට ගත් රන් පැහැති ආභරණ පරීක්ෂා කිරීමේදී ඒවා රන් භාණ්ඩ නොවන බව තහවුරු වීමෙන් පසු සැකකරුගේ මව වෙත භාරදී තිබේ.
පොලිසියට අනුව, විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘පානදුර කුඩු සලිඳු’ නමැත්තාගේ ජාවාරම මෙහෙයවන ‘රන්දික’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගෝලයෙකු ලෙස සැලකෙන ‘DJ චතූ’ නමැත්තා අනියම් බිරිඳ සමඟ මෙම නිවස මාසික රුපියල් 70,000ක කුලියකට ලබාගෙන තිබේ. වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් නිවසේ නොසිටි අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති අතර, පානදුර කොට්ඨාස අපරාධ විමර්‌ශන කාර්යාංශය වැඩිදුර විමර්‌ශන සිදුකරයි.
















