එංගලන්ත ප්‍රහාරාත්මක පිතිකරු සහ කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් ශ්‍රී ලංකාවට එරෙහිව ලන්ඩන්හි පැවැත්වෙන තීරණාත්මක තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් ඉවත් කර තිබේ. දෙවැනි එක්දින තරගය අතරතුරදී ඔහුට ඇති වූ පාදයේ ආබාධය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව එංගලන්ත ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
දෙවැනි තරගයේදී පන්දු 49කින් ලකුණු 69ක් රැස් කළ බට්ලර් ඉනිමේ 38 වැනි පන්දුවාරයේදී ආබාධයට ලක්ව පිටියෙන් ඉවත් විය. පසුව නැවත පන්දුවට පහරදීම සඳහා පිටියට පැමිණියද, එංගලන්ත කණ්ඩායමට එම තරගය ජයගැනීමට නොහැකි වූ අතර ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 16ක පරාජයක් අත්විඳීමට සිදුවිය.
බට්ලර් වෙනුවට ඩෑන් ලෝරන්ස් එංගලන්ත සංචිතයට කැඳවා තිබේ. තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන ඇති බැවින් තරගාවලිය මේ වනවිට 1-1ක් ලෙස සම තත්ත්වයේ පවතී.
















