වසරකට වැඩි කාලයක් පුරා රට පුරා ක්‍රියාත්මක වූ ශිෂ්‍ය මෙහෙයවීම් සහිත දැවැන්ත ජනතා විරෝධතා සහ බරපතළ රාජ්‍ය දූෂණ චෝදනා හමුවේ සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුචිච් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබේ. අගනුවර පිහිටි ජනාධිපති මන්දිරය අසල රැස්ව සිටි ජනතාව අමතමින් ඔහු මෙම තීරණය අතර, එළඹෙන ඔක්තෝබර් අග භාගයේ පැවැත්වීමට නියමිත හදිසි පාර්ලිමේන්තු මැතිවරණයේදී සිය පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස තරග කිරීමේ අරමුණින් මෙම ඉල්ලා අස්වීම සිදු කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
රුසියානු හිතවාදී සහ ජනප්‍රියවාදී පාලකයෙකු වන වුචිච්ගේ පාලනයට එරෙහි මහජන රෝෂය අන්තයටම වර්ධනය වූයේ 2024 වසරේදී නොවි සාඩ් දුම්රිය ස්ථානයේ වහලයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ ඛේදනීය සිදුවීමත් සමඟය. රජයේ බාල වැඩකටයුතු සහ දූෂණයේ ප්‍රතිඵලයක් ලෙස සිදුවූ මෙම අනතුරට එරෙහිව ශිෂ්‍යයන්, ගුරුවරුන් සහ කම්කරුවන් ඇතුළු විශාල පිරිසක් වීදි බැස අඛණ්ඩව විරෝධතා දියත් කළ අතර, පොලිස් ප්‍රහාර හමුවේ පාලක පක්ෂයට එම තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි විය.
සර්බියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා ඉල්ලා අස්වී මාස තුනක් ඇතුළත නව ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බැවින්, ඉදිරි මාසවලදී සර්බියානු ජනතාවට පාර්ලිමේන්තු සහ ජනාධිපතිවර යන ද්විත්ව මැතිවරණයකට මුහුණ දීමට සිදුවනු ඇත. නව ජනාධිපතිවරයෙකු තේරී පත්වන තෙක් පාර්ලිමේන්තු කථානායක අනා බ්‍රනාබිච් මහත්මිය වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කරන අතර, තවදුරටත් උද්ගතවිය හැකි දේශපාලන අස්ථාවරත්වය මැඩපැවැත්වීම සඳහා රජයට සහ විපක්ෂයට ඉදිරියේදී දැඩි අභියෝගවලට මුහුණ දීමට සිදු වනු ඇත.
















