පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඉන්ධන ප්රවාහනය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලැබෙන ප්රවාහන ගාස්තු ප්රමාණවත් නොවන බව පවසමින්, ගැටලුවට කඩිනම් විසඳුමක් නොලැබුණහොත් ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත් වන බව ඉන්ධන ප්රවාහන හා ටැංකි රථ හිමියන්ගේ සංගම් අනතුරු අඟවා තිබෙනවා.
සංගම් නියෝජිතයින් ඊයේ (28) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, ඉන්ධන ප්රවාහන මිල සූත්රය සංශෝධනය කිරීම පිළිබඳ අවසන් සාකච්ඡාවක් සිකුරාදා පැවැත්වීමට නියමිත බව සඳහන්.
වසරකට ආසන්න කාලයක් තිස්සේ ප්රවාහන ගාස්තු සංශෝධනය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා තිබුණද මෙතෙක් ස්ථිර විසඳුමක් ලැබී නොමැති බව සංගම් පෙන්වා දෙනවා. ඔවුන් සඳහන් කරන්නේ ඉන්ධන මිල, අමතර කොටස්, ටයර් සහ නඩත්තු වියදම් ඇතුළු මෙහෙයුම් වියදම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.
සංගම් නියෝජිතයින් පවසන්නේ සිකුරාදා පැවැත්වෙන සාකච්ඡාවේදී සාධාරණ විසඳුමක් නොලැබුණහොත් ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ ටැංකි රථ හිමියන් එක්ව ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත් වීමට කටයුතු කරන බවයි.
මේ අතර, පෞද්ගලික ඉන්ධන බෙදාහරින්නන් ද පවතින මිල ක්රමය යටතේ අඛණ්ඩව ඉන්ධන සැපයීම අසීරු වී ඇති බව මීට පෙර පවසා තිබුණා.
















