ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ත්‍රිවිධ හමුදාවේ සේවයේ යෙදී සිටින සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 57 දෙනෙකුට “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්රදානය කර තිබේ. නිත්‍ය බල සේනාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන ලද සුවිශේෂී හා කැපකිරීම් සහිත සේවය අගයමින් මෙම සම්මාන පිරිනමා ඇත.
උත්සවය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, මෙම සම්මානයට ලක් වූ නිලධාරීන් දහවල හෝ රාත්‍රිය, කාලගුණය යහපත් හෝ අයහපත් වීම මෙන්ම ජීවිත අවදානම නොසලකා තම රාජකාරිය වෙනුවෙන් කැපවී කටයුතු කළ බවයි. අවම වශයෙන් වසර 25ක අඛණ්ඩ සේවා කාලයක් සහ යහපත් සේවා ඉතිහාසයක් හිමි ත්‍රිවිධ හමුදා නිලධාරීන් වෙත මෙම කීර්තිමත් පදක්කම පිදෙන අතර, වර්තමානයටද අවශ්‍යව ඇත්තේ එවැනි කැපවීමකින් සහ වගකීමකින් යුතු රාජ්‍ය සේවයක් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















