හම්බන්තොට, තිස්සමහාරාමයේ මැදවෙලන මහා විද්‍යාලයේ අබලන්ව පැවති පන්ති කාමර ගොඩනැගිලි සහ සනීපාරක්ෂක පහසුකම් නවීකරණය කර සිසු අයිතියට පත් කිරීම මඟින් ග්‍රාමීය පාසල්වල අධ්‍යාපන මට්ටම නංවාලීමට තවත් සුවිශේෂී පියවරක් තැබී ඇත. රටේ ජාතික සංවර්ධන ක්‍රියාවලියට සහයෝගය ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක වන “පිරිසිදු ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනේ ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම පාසලේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා දැඩි කැපවීමකින් යුතුව දායකත්වය සපයනු ලැබීය.
ඇමරිකා එක්සත් ජනපදයේ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය නැගෙනහිර වෙරළ පදනමේ මූල්‍යමය අනුග්‍රහය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරු තාක්ෂණික හා කුසලතා පූර්ණ ශ්‍රම දායකත්වය ඒකාබද්ධ කරමින් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගනු ලැබිණි. ආර්ථික හා සමාජීය අභියෝග මැද අධ්‍යාපනය ලබන ග්‍රාමීය දරුවන්ට අවශ්‍ය මූලික පහසුකම් ලබා දීම හරහා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම මෙම ඒකාබද්ධ ප්රවේශයේ මූලික අරමුණ වී තිබේ.
මෙම ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර සිසු අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවති උත්සවය ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේ අණදෙන නිලධාරී සහ හම්බන්තොට නාවික විධානයේ වැඩබලන නිලධාරී කපිතාන් සේනක ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, පාසලේ විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය සහ සිසු දරුවෝ රැසක් මීට එක්ව සිටියහ. ඉදිරියටත් මෙවැනි ප්‍රජා සත්කාරක වැඩසටහන් හරහා මෙරට දූ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට නාවික හමුදාව ඇතුළු ආයතන ගන්නා උත්සාහය ප්‍රදේශයේ අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රගතියට මහත් රුකුලක් වනු ඇත.














