වැලි ප්රවාහනය කළ ටිපර් රථයක් සහ කිරි ප්රවාහනය කළ බොලරෝ වර්ගයේ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (5) උදෑසන අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ. අනතුරෙන් බොලරෝ ලොරි රථයේ රියදුරු බරපතළ තුවාල ලබා ඇති බව සඳහන් වේ.
හැටන්–පුලියාවත්ත ප්රධාන මාර්ගයේ දික්ඔය, දරවල ප්රදේශයේදී පෙරවරු 8.00ට පමණ අනතුර සිදුව ඇති බව හැටන් පොලිසිය සඳහන් කළ බව වාර්තා වේ. පොලිස් රථවාහන අංශයේ මූලික විමර්ශන අනුව, බොලරෝ ලොරි රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයේ ගැටී ඇති බවට සැක කෙරේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, වාහන දෙකටම දැඩි අලාභහානි සිදුව ඇති බවද වාර්තා වේ. අනතුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














