නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව යටතේ පැවති මඩකලපුව පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය ජාතික මට්ටමේ අධ්‍යාපනික පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රේණිගත කරමින්, එහි සම්පූර්ණ පරිපාලන සහ ක්‍රියාකාරී වගකීම් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත පවරා ගැනීම පසුගියදා (01) නිල වශයෙන් සිදු කෙරිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්. සරවනභවන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අදාළ ලේඛනවලට අත්සන් තැබීම සිදු වූ අතර, මෙරට සමස්ත සෞඛ්‍ය සේවයේ ප්‍රගතිය උදෙසා ගුණාත්මක මානව සම්පතක් බිහි කිරීම සඳහා මෙම මධ්‍යස්ථානය තවදුරටත් සංවර්ධනය කරන බව අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.













