පැරණි ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වී සිටින විශ්‍රාමිකයන්ට ගෙවීමට ඇති හිඟ විශ්‍රාම වැටුප් ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ආරම්භ කර තිබෙනවා.
ගොවි ජනතාව විසින් ඉදිරිපත් කර ඇති දුක්ගැනවිලි සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන ප්‍රතිපාදන මත මෙම ගෙවීම් ක්‍රියාවලිය 2026 අගෝස්තු මාසයේ සිට ආරම්භ කර ඇති බව සඳහන්.
ඒ අනුව 2025 ජුනි, ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලට මෙන්ම 2026 අප්‍රේල් සහ මැයි මාසවලට අදාළ හිඟ විශ්‍රාම වැටුප් මෙලෙස ගෙවීමට නියමිතයි.
මේ වන විට ගොවීන් 2,910 දෙනෙකු සඳහා රුපියල් මිලියන 38කට ආසන්න මුදලක් ගෙවා අවසන් කර ඇති අතර, ඉදිරියටත් මෙම ගෙවීම් ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිත බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරනවා.
1987 වසරේ ආරම්භ කළ ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සඳහා මේ වන විට ගොවීන් 871,425 දෙනෙකු දායක වී තිබෙනවා.
එම දායකයන් අතරින් වයස අවුරුදු 60 සම්පූර්ණ කළ ගොවීන් 170,950 දෙනෙකුට දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල 3,975ක් හරහා මාසිකව රුපියල් මිලියන 415කට වැඩි මුදලක් විශ්‍රාම වැටුප් ලෙස ගෙවනු ලබන බව සඳහන්.














