නවසීලන්තයේ ඕක්ලන්ඩ් රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීන් පිරිසක් විසින් වෛද්‍ය සහෝදරියන් දෙදෙනෙකුගේ හැසිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත සිදුකරන ස්වාධීන විමර්ශනය නතර කරන ලෙස කළ ඉල්ලීමක් නවසීලන්ත රැකියා සම්බන්ධතා අධිකාරිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
වෛද්‍ය බෝධි විමලසේන සහ වෛද්‍ය සමාධි විමලසේන යන සහෝදරියන් දෙදෙනාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීන් හත්දෙනෙකු වෙනුවෙන් Association of Salaried Medical Specialists විසිනි.
එම පැමිණිල්ලෙන් ඔවුන්ගේ හැසිරීම ඇතැම් අවස්ථාවලදී තර්ජනාත්මක, බිය ගැන්වීම් සහ හිරිහැරකාරී ස්වභාවයක් ගත් බවට චෝදනා කර ඇති අතර, වෛද්‍ය සහෝදරියන් දෙදෙනා එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
විමර්ශනය සිදුකරන අතරතුර වෛද්‍ය බෝධි විමලසේනට රෝහලේ ඇතැම් රැස්වීම්වලට සහභාගී වීම සීමා කර තිබූ අතර, වෛද්‍ය සමාධි විමලසේන වැටුප් සහිත තාවකාලික නිවාඩුවකට යොමු කර හදිසි ප්‍රතිකාර අංශයට නැවත පැමිණීම වළක්වා තිබුණි.
විමර්ශනය නතර කරන ලෙස සහ තම සේවා ස්ථාන වෙත යළි පත් කරන ලෙස වෛද්‍යවරුන් දෙදෙනා නවසීලන්ත රැකියා සම්බන්ධතා අධිකාරියෙන් අතුරු සහනයක් ඉල්ලා තිබුණි.
කෙසේ වෙතත්, අධිකාරියේ සාමාජික Simon Greening මහතා විමර්ශනය නතර කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එය ඉදිරියට ගෙන යා යුතු බව තීරණය කර තිබේ.
එහිදී වෛද්‍ය බෝධි විමලසේනට රෝහලේ අධ්‍යාපනික ‘Grand Rounds’ රැස්වීම් සහ රෝහල් මට්ටමේ උත්සවවලට සහභාගී වීමට අවසර ලබාදී ඇති අතර, වෛද්‍ය සමාධි විමලසේන නැවත හදිසි ප්‍රතිකාර අංශයට යොමු කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
විමර්ශනයේ අරමුණ පැමිණිලිකරුවන් සහ වෛද්‍ය බෝධි විමලසේන අතර සේවා සබඳතා යළි ගොඩනඟා ගැනීමට සහ ආරක්ෂිත හා යහපත් සේවා පරිසරයක් ඇති කිරීමට අවශ්‍ය පියවර නිර්දේශ කිරීම බවද අධිකාරිය පෙන්වා දී තිබේ.
වෛද්‍යවරුන් දෙදෙනා වෙනුවෙන් නිකුත් කළ ප්‍රකාශයක සඳහන් කර ඇත්තේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ප්‍රධාන නඩු විභාගයට බලපෑමක් සිදුවිය හැකි බැවින් මේ අවස්ථාවේ වැඩිදුර අදහස් දැක්විය නොහැකි බවයි.















