මත්පැන් නිෂ්පාදන සමාගමකින් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීම ඇතුළු බරපතළ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට එරෙහිව සමාජ ක්‍රියාකාරිකයකු විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ගොනු කර තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් නියාමනය කරනු ලබන මත්පැන් සමාගමක් විසින් ලබා දී ඇති බවට සැකකෙරෙන ‘හොන්ඩා වෙසල්’ වර්ගයේ නවීන මෝටර් රථය කොමසාරිස් ජනරාල්වරයාගේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය පුත්‍රයා විසින් අඛණ්ඩව පරිහරණය කරනු ලබන බවට මෙම පැමිණිල්ල මඟින් බරපතළ අනාවරණයක් සිදු කර ඇත.
අදාළ රථය කොමසාරිස් ජනරාල්වරයාගේ පෞද්ගලික ධනයෙන් හෝ නීත්‍යනුකූල ආදායම් මාර්ගයකින් උපයාගත් එකක් නම් එය වත්කම් හා බැරකම් ප්‍රකාශවල අනිවාර්යයෙන්ම සටහන් විය යුතු වුවද, එවැන්නක් සිදු වී නොමැති වීම තුළින් මෙය මත්පැන් ජාවාරම්කරුවන්ගෙන් ලබාගත් අල්ලසක් බවට සාධාරණ හා දැඩි සැකයක් මතුවන බව පැමිණිලිකාර කැළුම් අමරසිංහ මහතා මාධ්‍ය වෙත පෙන්වා දී තිබේ. රාජ්‍ය සේවයේ ඉහළම තලයේ පසුවන නිලධාරියකුට එල්ල වී ඇති මෙම චෝදනාව වත්මන් පාලනය යටතේ ක්‍රියාත්මක වන දූෂණ විරෝධී පාලන තන්ත්‍රයට සහ රාජ්‍ය ආයතනවල විනිවිදභාවයට එල්ල වූ සෘජු අභියෝගයක් ලෙස ජාතික මට්ටමේ දැඩි කතාබහකට ලක්ව තිබේ.
රාජ්‍ය සේවයේ අඛණ්ඩතාව සහ විනිවිදභාවය සුරක්ෂිත කිරීමේ පියවරක් ලෙස මෙම පැමිණිල්ල කිසිදු ප්‍රමාදයකින් තොරව ප්‍රමුඛතා ලැයිස්තුව යටතේ විමර්ශනයට ලක් කරන ලෙස අල්ලස් කොමිසමෙන් ඉල්ලා ඇති අතර, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් පවත්වනු ලබන විමර්ශනවල ප්‍රතිඵල මත රාජ්‍ය නියාමන ආයතනවල මර්දන යාන්ත්‍රණය සහ නිලධාරීන්ගේ වගවීම පිළිබඳ තීරණාත්මක පරීක්ෂාවකට රජයට මුහුණ දීමට සිදු වනු ඇත.














