කච්චතිව් දූපත සම්බන්ධයෙන් 1974 සහ 1976 වසරවල අත්සන් තැබුණු ගිවිසුම් යළි විවෘත කිරීමට හෝ සංශෝධනය කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට නිල වශයෙන් දන්වා සිටීමත් සමඟ දෙරට අතර දේශපාලන හා ධීවර අර්බුදය නව දිශාවකට යොමු වී තිබේ.
ඉන්දීය රජය වෙනුවෙන් පෙනී සිටි නීතිපති ආර්. වෙන්කටරාමනී මහතා අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාව සමඟ පවත්වාගෙන යනු ලබන යහපත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් සුරක්ෂිත කරමින් ධීවර ගැටලු රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ පමණක් විසඳා ගැනීමට කටයුතු කරන බවය. එසේම, කච්චතිව් දූපත සම්බන්ධයෙන් ඉන්දියාව ගනු ලබන තීරණ පිළිගැනීමට හෝ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට බලපෑම් කළ නොහැකි බවත්, ඉන්දීය මුහුදු සීරමෙහි මත්ස්‍ය සම්පත අඩුවී යාම හේතුවෙන් තමිල්නාඩු ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවීමට සිදුවී ඇති බවත් ඉන්දීය රජය අධිකරණයට පෙන්වා දී ඇත.
කෙසේ වෙතත්, 1974 ගිවිසුමෙන් කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සහ 1976 ගිවිසුමෙන් ඉන්දීය ධීවරයන්ගේ අයිතිවාසිකම් සීමා කිරීම අභියෝගයට ලක් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ දීර්ඝ කාලයක් පුරා විභාග වන මෙම පෙත්සම්වල නීතිමය වලංගුභාවය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීන්දුවක් ප්‍රකාශ කර නොමැති අතර, 2008 වසරේ සිට ඇදී යන මෙම නඩුවේ වැඩිදුර විභාගය 2027 පෙබරවාරි දක්වා කල් තැබීමට අධිකරණය පියවර ගෙන තිබේ.
















