විදුලි හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (e-waste) නිසි පරිදි කළමනාකරණය කිරීම සඳහා ජාතික යාන්ත්‍රණයක් සකස් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. රජයේ ආයතන, පෞද්ගලික අංශය සහ නියාමන බලධාරීන් එකතු කර ගනිමින් මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
ඔක්තෝබර් 14 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය දිනයට (International E-Waste Day) සමඟාමීව, නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම පියවර ගෙන ඇත. 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට රජය දරන ප්රයත්නයට සහයෝගයක් ලෙස, විද්‍යුත් අපද්‍රව්‍ය එකතු කිරීම, නැවත භාවිතය සහ විද්‍යාත්මක ප්‍රතිචක්‍රීකරණ ක්‍රමවේද පුළුල් කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.
ජාතික පාරිසරික පනත යටතේ විස්තීරණ නිෂ්පාදක වගකීම් (EPR) විධිවිධාන හඳුන්වා දීමට පියවර ගෙන ඇති අතර, විදුලි හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්රතිපත්තියක්ද ඉදිරියේදී අනුමත වීමට නියමිතය. මේ අතර, මධ්‍යම පාරිසරික අධිකාරිය (CEA) ඩයලොග් ආසියාටා ආයතනය සමඟ එක්ව දිවයින පුරා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනක් දැනටමත් ක්‍රියාත්මක කර තිබෙන අතර, ඒ හරහා ජනතාවට තම භාවිතයට නොගන්නා විදුලි උපකරණ ආරක්ෂිතව බැහැර කිරීමට පහසුකම් සලසා දී ඇත.














