ශ්රීලංකන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්ය අක්රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහි විමර්ශන අවසන් කර ඇති බැවින් අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා හමුවේ දැනුම් දී තිබේ.
ඒ අනුව අදාළ නඩුව නොවැම්බර් 18 වැනිදා යළි කැඳවීමට මහේස්ත්රාත්වරයා දින නියම කර ඇත. එදිනට නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාරගතව සිටින්නේ නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබේ.
මෙම නඩුවේ සිව්වැනි සැකකරු වන නාමල් රාජපක්ෂ මහතා මේ වන විට රුපියල් මිලියන 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇති බවද වාර්තා වේ.
නඩුවේ පළමු සැකකරු වන කපිල චන්ද්රසේන මහතා මියගොස් ඇති බව දැනුම් දී තිබුණද, ඒ සම්බන්ධ මරණ සහතිකය මෙතෙක් විමර්ශන නිලධාරීන්ට ලැබී නොමැති බව අධිකරණයේදී සඳහන් කර ඇත.
දෙවැනි සැකකාරිය වන ප්රියංකා නියෝමාලි සහ ශාමින්ද්ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්යන්තර රතු නිවේදන ලබාගෙන ඇති බවත්, ඒ අනුව ඉදිරි ක්රියාමාර්ග ගනිමින් සිටින බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබේ.
















