සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා පාගමනින් පැමිණි මහා සංඝරත්නයේ ඉල්ලීම ඉටු කළ නොහැකි බව කෘෂිකර්ම අමාත්ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
මාධ්යවේදීන් නැඟූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්යවරයා සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වත්මන් ආණ්ඩුව කටයුතු කරන්නේ ජනතාව ලබාදුන් ජනවරමට අනුව බවයි.
පසුගිය පාලන කාලයට වඩා වර්තමානයේ නීතියේ ආධිපත්යය තහවුරු කර ඇති බැවින්, භික්ෂූන් වහන්සේලා ඉදිරිපත් කළ ඉල්ලීම ඉටු කිරීමෙන් ජනවරමට පිටුපෑමක් සිදුවනු ඇති බවද ඔහු ප්රකාශ කළේය.
ජනවරම තුළ නීතියේ ආධිපත්යය තහවුරු කිරීම පිළිබඳ පැහැදිලි අපේක්ෂාවක් පවතින බව පෙන්වා දුන් අමාත්යවරයා, ඒ අනුව ජනාධිපතිවරයා සහ ආණ්ඩුව තීරණ ගන්නා බව සඳහන් කළේය.
එබැවින් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉදිරිපත් කළ ඉල්ලීම ඉටු කළ නොහැකි බවත්, එය මහා සංඝරත්නයට අවබෝධ කරගත හැකි කරුණක් බවත් ලාල් කාන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.
















