කොළඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් ඩොලර් මිලියන 17ක මූල්ය ප්රදානයක් ලබාදී තිබේ.
මෙම ප්රදානයට අදාළව ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපති එරික් එස්. මේයර් මහතා අද (16) පෙරවරුවේ කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. වරාය නියමු නාවික මධ්යස්ථානයට පැමිණි තානාපතිවරයා වරාය හා සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතා සහ වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්රම දිසානායක මහතා විසින් පිළිගනු ලැබීය.
නැගෙනහිර පර්යන්තයේ පරිපාලන ගොඩනැගිලි පරිශ්රයේ පැවති මාධ්ය හමුවේදී තානාපතිවරයා සඳහන් කළේ ඇමරිකානු තාක්ෂණය කොළඹ වරායට හඳුන්වාදීම තුළින් භාණ්ඩ මෙහෙයුම් වේගවත් කර වෙළෙඳ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමට හැකි වන බවයි. එමඟින් දෙරටේ ආර්ථිකයන් ශක්තිමත් කිරීමටද දායකත්වයක් ලැබෙන බව ඔහු පැවසීය.
මෙම මූල්ය ප්රදානය නාවික තනි කවුළු පද්ධතියක් ස්ථාපිත කිරීම සහ වරාය මෙහෙයුම් ඩිජිටල්කරණය සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බව අමාත්ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේය. ඒ වෙනුවෙන් ඇමරිකානු රජයට සහ ජනතාවට ශ්රී ලංකා රජයේ ස්තුතිය පළ කරන බවද ඔහු පැවසීය.
වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්රම දිසානායක මහතා ප්රකාශ කළේ මෙම වසරේදී බහාලුම් මිලියන 9ක් මෙහෙයවීමට අපේක්ෂා කරන බවයි. ඉන් සියයට 80ක් පමණ ප්රතිනැව්ගත කිරීම් වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
ප්රතිනැව්ගත කිරීමේ බහාලුම් මෙහෙයුම් මඟින් ගෝලීය වෙළෙඳාමට කොළඹ වරාය ලබාදෙන දායකත්වයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 250කට අධික බවද සභාපතිවරයා පැවසීය. වරාය මෙහෙයුම්වලට සම්බන්ධ සියලු පාර්ශ්වයන් අතර සම්බන්ධීකරණය සහ තොරතුරු හුවමාරුව වැඩිදියුණු කිරීමද මෙම ඩිජිටල්කරණ වැඩපිළිවෙළේ ප්රධාන අරමුණක් වේ.
















