ගෝලීය සංචාරක වෙළෙඳපොළ තුළ ශ්රී ලංකාවේ තරගකාරීත්වය සහ ආකර්ෂණීයත්වය ඉහළ නැංවීමේ අරමුණින්, ලෝක බැංකු සහාය ඇතිව ක්රියාත්මක කිරීමට නියමිත ගෝලීය ගමනාන්ත අලෙවිකරණ හා සන්නිවේදන වැඩසටහන සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශයේදී පැවති මෙම සාකච්ඡාවේදී සංචාරක ඉල්ලුම සහ සැපයුම පිළිබඳ ප්රවණතා, සංචාරකයන්ගේ හැසිරීම්, ගමනාන්ත සන්නාමකරණය සහ ජාත්යන්තර අලෙවිකරණ උපායමාර්ග පිළිබඳව අවධානය යොමු කර ඇත.
වැඩසටහන දිගුකාලීන සැලැස්මක් මත ක්රියාත්මක කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කර ඇති අතර, එහි සාර්ථකත්වය සහ තිරසාරභාවය තහවුරු කිරීම සඳහා විනිවිදභාවයෙන් යුත් ප්රසම්පාදන ක්රියාවලියක් සහ ආයතනික ධාරිතාව වර්ධනය කිරීමේ අවශ්යතාවද සාකච්ඡා කර තිබේ.
වැඩසටහන සැලසුම් කිරීම සහ ක්රියාත්මක කිරීම සඳහා තාක්ෂණික විශේෂඥතාව සහ උපායමාර්ගික මඟපෙන්වීම ලබාදීමට නියමිත MTI Consulting සහ Skift Inc./JD ආයතනවල දායකත්වයද මෙහිදී අගය කර ඇත.
මෙම සාකච්ඡාවට අමාත්යාංශ ලේකම් අරුණි රණරාජා මහත්මිය, සංචාරක ක්ෂේත්රයට අදාළ රාජ්ය ආයතනවල සභාපතිවරුන්, SLAITO සහ TAASL නියෝජිතයන්, සංචාරක උපදේශක කමිටුවේ නියෝජිතයන්, ලෝක බැංකුවේ නියෝජිතයන් සහ අදාළ උපදේශන ආයතනවල නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.
















