කාවන්තිස්ස නමින් ප්රසිද්ධ දළ ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවෙකුගේ බිරිඳ, සිය සැමියා වරදක් කර නොමැති බව පවසමින් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉටුකර දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
තම සැමියා කිසිදු අපරාධයක් සිදුකර නොමැති බවත්, ඔහු අපරාධකරුවෙකු ලෙස සමාජ මාධ්ය ඔස්සේ හඳුන්වා දීම හේතුවෙන් තම පවුලට සමාජයට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් ඇය සඳහන් කර ඇත. තම සැමියා ඇතාට වෙඩි තැබූ බවට එල්ල වන චෝදනා ඔහු ප්රතික්ෂේප කරන බවද ඇය පවසයි.
කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක ඒකකය සහ වනජීවී දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහව මහේස්ත්රාත් අනුරාධා සෙනෙවිරත්න මහත්මිය ඊයේ (19) නියෝග කර තිබේ.
එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ඇහැටුවැව ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන නිපුණතා සංවර්ධන නිලධාරියෙකු සහ තවත් සැකකරුවෙකි. සැකකරුවන් දෙදෙනා සතුව තිබූ බෝර 12 වර්ගයේ ගිනිඅවි දෙකක්ද පොලිසිය භාරයට ගෙන ඇත.
කෙසේ වෙතත්, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේදී චෝදනා ප්රතික්ෂේප කරමින් සඳහන් කර ඇත්තේ, අත්අඩංගුවට ගත් ගිනිඅවි බලපත්ර සහිත නීත්යානුකූල ගිනිඅවි බවයි. ප්රමාණවත් සාක්ෂි නොමැතිව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවටද ඔහු කරුණු දක්වා තිබේ.
මේ අතර, කාවන්තිස්ස ඇතාගේ මරණයට වගකිව යුත්තේ කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්යතාව අධිකරණයේදී අවධාරණය කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වා ඒවායේ ප්රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්රාත්වරිය අඹන්පොළ පොලිසියට නියෝග කර තිබේ.
















