ගම්පහ දිස්ත්රික්කයේ සංචාරක කර්මාන්තය නඟාසිටුවීමේ අරමුණින් සකස් කළ තෙවසරක සංචාරක උපායමාර්ගික සැලැස්ම සංචාරක, විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්ය විජිත හේරත් මහතා විසින් ඊයේ (19) ගම්පහ දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, කම්කරු නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ මහතා වෙත නිල වශයෙන් භාර දී තිබේ.
2027, 2028 සහ 2029 යන වසර තුන තුළ ක්රියාත්මක කිරීමට නියමිත මෙම සැලැස්ම මඟින් දිස්ත්රික්කයේ සංචාරක ක්ෂේත්රය සංවර්ධනය කිරීම සඳහා අවශ්ය ව්යාපෘති, වැඩසටහන් සහ ඉදිරි ක්රියාමාර්ග යෝජනා කර ඇත.
ගම්පහ දිස්ත්රික් සංචාරක අනුකමිටුවේ තීරණයකට අනුව, පසුගිය 17 සහ 18 යන දෙදින මීගමුවේදී පැවති වැඩමුළුවකදී මෙම සැලැස්ම සකස් කර තිබේ. ඒ සඳහා බස්නාහිර පළාත් සංචාරක සංවර්ධන මණ්ඩලය, අදාළ රාජ්ය ආයතන සහ සංචාරක ක්ෂේත්රයේ විවිධ සංගම් ඇතුළු පාර්ශ්ව රැසක් දායක වී ඇත.
සැලැස්ම නිල වශයෙන් භාරදීමේ අවස්ථාවට නියෝජ්ය අමාත්ය සුගත් තිලකරත්න, පාර්ලිමේන්තු මන්ත්රිනී හේමාලි වීරසේකර සහ ගම්පහ දිස්ත්රික් සංචාරක අනුකමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී චම්පික හෙට්ටිආරච්චි මහතා ඇතුළු රාජ්ය නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
















