හිටපු අමාත්ය අකිල විරාජ් කාරියවසම් මහතාට සහ ඔහුගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති නඩුව ලබන ජනවාරි 5 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා අද (20) නියෝග කර තිබේ.
එදිනට සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළේය. නඩුවට අදාළ සැකකරුවන් දෙදෙනා අද දිනයේ ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ සමයේ කාර්ය මණ්ඩලය සඳහා බඳවා ගත් සේවකයන් සිව්දෙනෙකු සම්බන්ධයෙන් මෙම චෝදනා එල්ල වී තිබේ. ඉන් සේවකයන් තිදෙනෙකු තමන්ට අයත් ඉන්ධන පිරවුම්හලක සේවයේ යොදවා ඇති බවත්, තවත් සේවකයෙකු අදාළ තනතුරට වෙන් කළ කාර්යාලයේ රාජකාරි සඳහා යොදවා නොමැති බවත් චෝදනාවේ සඳහන් වේ.
එමඟින් රුපියල් 2,768,836.14ක වැටුප් හා දීමනා රජයෙන් ගෙවීමට සැලැස්වීම හරහා රජයට පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් අකිල විරාජ් කාරියවසම් මහතාට චෝදනා එල්ල වී ඇති අතර, එම ක්රියාවට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් දෙවැනි සැකකරුට චෝදනා ගොනු කර තිබේ.
















