2023 වසරේදී කොළඹ වරායේ තෙල් බංකරින් පහසුකම් සඳහා ඉඩම් බදුදීම ඇතුළු ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්යාංශයට සහ ශ්රී ලංකා වරාය අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව, අදාළ වාර්තාව ඉදිරිපත් කරන ලෙස වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්යාංශයේ ලේකම්වරයාට සහ වරාය අධිකාරියේ සභාපතිවරයාට දැනුම්දී ඇති බව සඳහන්.
පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් යුත් අදාළ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම උපදෙස් ලබාදී තිබෙනවා.
කොළඹ වරායේ භාවිතයට නොගත් ඉඩම් බදුදීම, තෙල් බංකරින් මෙහෙයුම් සඳහා ඉඩම් වෙන් කිරීම සහ ඒ ආශ්රිත නීතිමය සමථකරණ ක්රියාවලියේ විනිවිදභාවය හා වෙළෙඳපොළ තරගකාරීත්වය පිළිබඳවද එහිදී සාකච්ඡා කර තිබෙනවා.














