වත්මන් රජය විසින් හඳුන්වා දී ඇති නව සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත මඟින් පොලිසිය හමුවේ කරන පාපෝච්චාරණයකට නීතිමය සහ සාක්ෂිමය වටිනාකමක් ලබාදීමට උත්සාහ කරමින් සිටින බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.
පැවැති මාධ්ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්රීවරයා සඳහන් කළේ මෙය ඉතාම අනතුරුදායක තත්ත්වයක් වන අතර, වද හිංසාවෙන් අත්මිදීමේ මූලික අයිතිවාසිකම සහ ජාත්යන්තර මානව හිමිකම් නීති මේ හරහා සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට උත්සාහ කෙරෙන බවයි. මෙම පනත පාතාලයට පමණක් අදාළ යැයි සාමාන්ය ජනතාව සිතුවද, එහි සංවිධානාත්මක අපරාධ අර්ථකථනය කර ඇති ආකාරය සැලකූ විට එය ඕනෑම අයෙකුට බලපෑ හැකි බව ඔහු පෙන්වා දුන්නේය. පරීක්ෂණ ආයතන දේශපාලනීකරණය කිරීමේ මීළඟ පියවර ලෙස මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බවත්, මෙවැනි නීති මඟින් රටේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට බරපතළ තර්ජනයක් එල්ල වන බවත් හිටපු මන්ත්රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.














