පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයින පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000කට අධික සංඛ්යාවක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRI) ජ්යෙෂ්ඨ භූවිද්යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි.
අද (22) පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, මේ මස 3 වැනිදා සිට මේ දක්වා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීම් 25ක් නිකුත් කර ඇති බවයි.
පෙර ඇති වූ දිට්වා බලපෑම හේතුවෙන් බොහෝ ප්රදේශවල නායයෑම්වල මූලික ලක්ෂණ මතුව ඇති බවත්, ඇතැම් ස්ථානවල ගල් සහ පස් තට්ටු තාවකාලිකව රැඳී පවතින බැවින් පවතින වර්ෂාවත් සමඟ ඒවා සෝදාගෙන යාමේ දැඩි අවදානමක් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.
පසුගිය දිනවල ලැබුණු වර්ෂාපතනය සැලකිල්ලට ගත් විට, ඇතැම් ප්රදේශවලට සුළු වර්ෂාපතනයක් ලැබුණද නිකුත් කර ඇති අනතුරු ඇඟවීම් තවදුරටත් අදාළ විය හැකි බව ද ඔහු සඳහන් කළේය. එබැවින් අවදානම් ප්රදේශවල ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටියි.
මේ අතර, ඊයේ (21) ලැබුණු වර්ෂාපතනයත් සමඟ නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර ඇති අතර, පහත ප්රදේශ සඳහා දෙවැනි අදියරේ අවධානයෙන් සිටීමේ නිවේදන නිකුත් කර තිබේ.
මහනුවර දිස්ත්රික්කය: උඩපළාත, මැදදුම්බර සහ කුණ්ඩසාලේ
නුවරඑළිය දිස්ත්රික්කය: අඹගමුව සහ නෝර්වුඩ්
රත්නපුර දිස්ත්රික්කය: රත්නපුර, ඇළපාත සහ කුරුවිට
පවතින වර්ෂාපතනය අනුව මෙම අනතුරු ඇඟවීම් වෙනස් විය හැකි බව ද ආචාර්ය වසන්ත සේනාධීර මහතා වැඩිදුරටත් පැවසීය.














