Facebook, Instagram සහ WhatsApp හි මව් සමාගම වන Meta සමාගමට පරිශීලක දත්ත භාවිතය සම්බන්ධයෙන් ජනතාව නොමග යැවූ බවට එල්ල වූ චෝදනා මත ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප්රාන්ත අධිකරණයක් ඩොලර් බිලියන 25ක දඩයක් නියම කර තිබේ.
සති දෙකක් පුරා පැවති නඩු විභාගයකින් අනතුරුව මෙම තීන්දුව ලබාදී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
2010 සිට 2021 දක්වා කාලය තුළ Facebook පරිශීලකයන්ගේ දත්ත හසුරුවන ආකාරය සහ එම දත්ත තෙවන පාර්ශ්ව වෙත ලබාදීම සම්බන්ධයෙන් Meta සමාගම ජනතාව නොමග යවා ඇති බවට ජූරිය තීරණය කර තිබේ. එමෙන්ම ප්රාන්ත නීති උල්ලංඝනය කිරීම් මිලියන 40කට අධික සංඛ්යාවක් සිදුව ඇති බව ද ජූරිය සොයාගෙන ඇතැයි වාර්තා වේ.
මිලියන ගණනක Facebook පරිශීලකයන්ගේ දත්ත දේශපාලන උපදේශන කටයුතු සඳහා භාවිත කළ බවට චෝදනා එල්ල වූ Cambridge Analytica සිද්ධියෙන් අනතුරුව මෙම නඩුව ආරම්භ වී තිබේ. ද්වේෂ සහගත අන්තර්ගතයන් සම්බන්ධයෙන් Meta සමාගම ක්රියා කළ ආකාරය පිළිබඳව ද ජනතාව නොමග යැවූ බවට ප්රාන්ත බලධාරීන් චෝදනා කර ඇත.
නීති උල්ලංඝනය කිරීම් සඳහා ගණනය කළ මුළු දඩ මුදල ඩොලර් බිලියන 219ක් වුවද, විනිසුරුවරයා එය ඩොලර් බිලියන 25 දක්වා අඩු කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
මේ අතර, අදාළ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව Meta සමාගමේ ප්රධාන නීතිඥ CJ Mahoney ප්රකාශ කර තිබේ.
නිව් මෙක්සිකෝ නීතිපති රාවුල් ටොරෙස් පවසා ඇත්තේ බලවත් තාක්ෂණික සමාගම්වලට නීතියෙන් ඔබ්බට ක්රියා කළ නොහැකි බව මෙම තීන්දුවෙන් පැහැදිලි වන බවයි.
















