භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් නීතිවිරෝධී ලෙස රුපියල් බිලියන 190ක මුදලක් විදේශ රටවලට යැවූ බවට චෝදනා එල්ල වී ඇති ජිෆ්රි මොහොමඩ් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ලබන 29 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා අද (22) නියෝග කළේය.
නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
මේ අතර, හයවන සැකකරුගේ ඇප අයදුම්පත සම්බන්ධ නියෝගය ප්රකාශයට පත් කරමින් මහේස්ත්රාත්වරයා සඳහන් කළේ ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් ප්රමාණවත් සාක්ෂි පැමිණිල්ල විසින් ඉදිරිපත් කර නොමැති බවයි. ඒ අනුව එම සැකකරු ඇප මත මුදාහැරීමට නියෝග කළ අධිකරණය රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළේය.
හත්වන සැකකරුගේ ඇප ඉල්ලීමට මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විරෝධතා ඉදිරිපත් කර ඇති අතර, විමර්ශනවල ප්රගති වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
අටවන සැකකරු විමර්ශනයට අදාළ ලේඛනමය සාක්ෂි විනාශ කර ඇති බවට ද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා, පළමු, හත්වන සහ අටවන සැකකරුවන් ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.














