ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට පහරදී වෙඩි තැබීමේ සිද්ධියට අදාළ විමර්ශන ප්රගතිය ජනවාරි 14 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් ළහිරු සිල්වා මහතා අද (22) කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දක්වා තිබේ.
එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත්තේ මෙම සිද්ධියට අදාළ 11, 12 සහ 13 යන සැකකරුවන් එය සංවිධානාත්මකව සැලසුම් කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි. සැකකරුවන්ගේ ජංගම දුරකථනවල වට්ස්ඇප් මඟින් තොරතුරු හුවමාරු කරගෙන ඇති බවත්, එම දත්ත ලබාගැනීම සඳහා මෙටා සමාගමෙන් වාර්තා ඉල්ලා ඇති නමුත් ඒවා මෙතෙක් ලැබී නොමැති බවත් පොලිසිය සඳහන් කර ඇත.
වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය සහ වෙඩි තැබීම සඳහා පැමිණි යතුරුපැදිය පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ප්රගතිය වාර්තා කිරීමට තවත් දිනයක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම අනුව අධිකරණය මෙම නියෝගය ලබා දී ඇත. තුසිත හල්ලොලුව මහතා ඇතුළු සැකකරුවන් 11 දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.
















