ශ්රී ලංකාවේ සිනමා කර්මාන්තය මුහුණ දී ඇති ගැටලු විසඳීම සඳහා යෝජනා මාලාවක් සිනමා ක්ෂේත්රයේ නියෝජිතයන් පිරිසක් කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා වෙත භාරදී තිබේ.
ශ්රී ලාංකික සිනමා වෘත්තිකයන්ගේ ස්වාධීන සාමූහිකය විසින් සකස් කළ මෙම යෝජනා මාලාව ඔක්තෝබර් 21 වැනිදා පාර්ලිමේන්තුවේදී අමාත්යවරයා වෙත නිල වශයෙන් භාරදී ඇත.
සිනමා ක්ෂේත්රයේ ප්රමුඛ වෘත්තීය සංගම් සහ ආයතන නියෝජනය කරන පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර, පවතින අභියෝග ජයගැනීමට ගත යුතු ක්රියාමාර්ග පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබේ.
යෝජනා ක්රියාත්මක කිරීම සඳහා රජයේ මැදිහත්වීමේ අවශ්යතාව අවධාරණය කළ අමාත්යවරයා, කලාකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ මෙරට සිනමා කර්මාන්තය යළි නඟාසිටුවීමේ වැදගත්කම ද පෙන්වා දී ඇත.
රාජ්ය සිනමා අනුකමිටුවේ සභාපති සහ ප්රවීණ සිනමා අධ්යක්ෂ අනුරුද්ධ ජයසිංහ, ශ්රී ලංකා චිත්රපට නිෂ්පාදකවරුන්ගේ සංගමයේ සභාපතිනි රේණුකා බාලසූරිය, කලා අධ්යක්ෂවරුන්ගේ සංගමයේ සභාපති බිමල් දුෂ්මන්ත සහ වෘත්තීය වේශ නිරූපණ ශිල්පීන්ගේ සංගමයේ සභාපති නයනා උජිත් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ඊට සහභාගී වී තිබේ.
සහකාර අධ්යක්ෂවරුන්, නිෂ්පාදන කළමනාකරුවන් සහ විදේශීය චිත්රපට නිෂ්පාදකවරුන්ගේ නියෝජිතයන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටි බව වාර්තා වේ.
කෙසේ වෙතත්, ඉදිරිපත් කළ යෝජනාවල නිශ්චිත කරුණු හෝ ඒවා ක්රියාත්මක කරන කාලසීමාව පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
















