ශ්රී ලංකා රජය විසින් මාලදිවයින් රජය වෙත රුපියල් මිලියන 5කට අධික වටිනාකමකින් යුත් අත්යවශ්ය ඖෂධ තොගයක් ප්රදානය කර තිබේ.
ඊයේ (22) පස්වරුවේ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේදී මෙම ප්රදානය සිදුකර ඇති අතර, මාලදිවයිනේ සෞඛ්ය, පවුල් හා සුබසාධන අමාත්ය ගීලා අලි මහත්මිය කළ ඉල්ලීමකට අනුව එය ක්රියාත්මක කර තිබේ.
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා විසින් අදාළ ඖෂධ තොගය ශ්රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් මහතා වෙත නිල වශයෙන් භාර දී ඇත.
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන වෛද්ය සැපයීම් අංශය, රාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ බටහිර ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය මෙම ප්රදානය සඳහා දායක වී තිබේ.
ඖෂධ ප්රදානය සම්බන්ධයෙන් ශ්රී ලංකා රජයට සිය ස්තුතිය පළ කළ මාලදිවයින් මහ කොමසාරිස්වරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ රජයට කෘතඥතාව පළ කරමින් දෙරට අතර පවතින දිගුකාලීන මිත්රත්වය සහ සමීප සබඳතා ද සිහිපත් කර ඇත.
මෙම අවස්ථාවට සෞඛ්ය අමාත්යාංශයේ සහ අදාළ ඖෂධ ආයතනවල නිලධාරීන් මෙන්ම මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයෝ ද එක්ව සිටියහ.















