අම්පාර දිස්ත්රික්කයේ සමන්තුරේ ප්රදේශයේදී රෝගාතුරව ඇදවැටී සිටින වන අලියෙකුගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්, පශු වෛද්ය කණ්ඩායම්, ශ්රී ලංකා යුද හමුදාව සහ පොලිසිය එක්ව අඛණ්ඩ මෙහෙයුමක් ක්රියාත්මක කර තිබේ.
වයස අවුරුදු 25ත් 30ත් අතර පසුවන මෙම පිරිමි වන අලියා සාමාන්යයෙන් නිරෝගී හා පුෂ්ටිමත් සතෙකු බව නිරීක්ෂණය වී ඇත. බාහිර ශරීරයේ තුවාල දක්නට නොලැබුණද, උදරය අසාමාන්ය ලෙස ඉදිමී තිබීම හේතුවෙන් කිසියම් විෂ ද්රව්යයක් ශරීරගත වීමක් හෝ නොදිරන පොලිතීන් ආහාරයට ගැනීමෙන් ඇති වූ ආමාශයික අවහිරතාවක් රෝගී තත්ත්වයට හේතු වන්නට ඇතැයි මූලිකව සැක කෙරේ.
නැගෙනහිර කලාපීය වනජීවී පශු වෛද්ය ඒකකය, අම්පාර වනජීවී අඩවි කාර්යාලය සහ සමන්තුරේ බීට්ටු කාර්යාලය එක්ව ප්රතිකාර කටයුතු සම්බන්ධීකරණය කරයි. ඒ අනුව, ඔක්තෝබර් 22 වැනිදා අලියාට අවශ්ය ප්රතිජීවක ඖෂධ ලබාදීමට ද පියවර ගෙන තිබේ.
ප්රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් අලියා වැටී සිටින ස්ථානය ජලයෙන් යටවීම ප්රතිකාර කටයුතුවලට බාධාවක් වී ඇත. එම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා ස්ථානයට වැලි යොදා භූමිය සකස් කිරීමේ කටයුතු ද සිදු කෙරේ.
මෙම මෙහෙයුමට ශ්රී ලංකා යුද හමුදා නිලධාරීන් 10 දෙනෙකුගේ සහාය ලබාදී ඇති අතර, පොලිසිය ද පූර්ණ සහයෝගය ලබාදෙයි. අලියාගේ ආරක්ෂාව තහවුරු කරමින් නියමිත වේලාවට ඖෂධ ලබාදීම සඳහා වනජීවී නිලධාරීන් දිවා රාත්රී දෙකෙහිම එම ස්ථානයේ රැඳී සිටිමින් අඛණ්ඩව නිරීක්ෂණ කටයුතුවල නිරතව සිටිති.















