ඉන්දියාවේ උත්තර් ප්රදේශ් ප්රාන්තයේ ගොරක්පූර් දිස්ත්රික්කයේ ගම්මානයකදී, ජලභීතිකාව වැළඳී ඇතැයි සැක කෙරෙන ගවයෙකුගේ කිරිවලින් සකස් කළ පානයක් ලබාගත් පුද්ගලයන් 450 දෙනෙකුට ජලභීතිකා එන්නත් ලබාදී තිබේ.
සැක සහිත සුනඛ සපාකෑමකට ලක්වීමෙන් පසු එම ගවයා මියගිය බවට ඇති වූ සැකය හේතුවෙන් දඩි ඛාස් ගම්මානයේ සෞඛ්ය අංශ විසින් එන්නත්කරණ කඳවුරක් පවත්වා ඇති බව ඉන්දීය මාධ්ය වාර්තා කරයි.
ඒ අනුව, පළමු දිනයේදී පුද්ගලයන් 50 දෙනෙකුට පමණ එන්නත් ලබාදී ඇති අතර, පසුදින පැවති කඳවුරේදී තවත් පුද්ගලයන් 400 දෙනෙකුට එන්නත් ලබාදී තිබේ.
අදාළ ගවයාගේ කිරි වෙළෙඳසල් දෙකකට සහ නිවාස කිහිපයකට බෙදාහැර තිබීම හේතුවෙන් දඩි ඛාස් සහ අසල්වැසි ගෝවින්ද්පූර් ගම්මානවල ජනතාව අතරද කනස්සල්ලක් ඇති වී ඇත.
ගවයාගේ හිමිකරු පවසා ඇත්තේ, මියයාමට දිනක් හෝ දෙකකට පෙර සිට සත්වයා අසනීප තත්ත්වයක් පෙන්නුම් කළ බවයි. පශු වෛද්යවරුන්ගෙන් උපදෙස් ලබාගෙන තිබුණද, පසුව ගවයා අසාමාන්ය ලෙස හැසිරෙමින් බුරන්නට පටන් ගෙන අඟහරුවාදා සවස මියගිය බවද ඔහු සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, ගවයාගේ රෝග ලක්ෂණ ජලභීතිකාව පිළිබඳ සැකයක් මතු කළද, එම ලක්ෂණ මත පමණක් රෝගය තහවුරු කළ නොහැකි බව පශු වෛද්යවරුන් පෙන්වා දී ඇත. ඒ සඳහා අවශ්ය පශු වෛද්ය පරීක්ෂණ සිදුකළ යුතු බවද ඔවුන් සඳහන් කර තිබේ.
කිරි පානය කිරීමෙන් පමණක් ජලභීතිකාව පැතිරෙන බව තහවුරු වී නොමැති නමුත්, ආසාදිත සතෙකුගේ කෙළ හෝ වෙනත් අවදානම් ද්රව්ය සමඟ සම්බන්ධ වූ බවට සැකයක් ඇත්නම් වහාම වෛද්ය උපදෙස් ලබාගන්නා ලෙස සෞඛ්ය අංශ දැනුම් දී තිබේ.
එමෙන්ම, අමු කිරි පානය කිරීමෙන් වළකින ලෙසත්, කිරි පානය කිරීමට පෙර හොඳින් උණුකර ගන්නා ලෙසත් සෞඛ්ය නිලධාරීන් උපදෙස් දී ඇත.
















