පානදුර කුඩු සලිඳු නමැති මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුගේ ජාලයට සම්බන්ධව මත්ද්රව්ය බෙදාහැරීමේ නිරත වූ බව කියන ප්රධාන ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුට අයත් බව කියන රුපියල් කෝටි 3කට ආසන්න වටිනාකමකින් යුත් දේපළ තහනමට ලක් කළ බව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.
‘බල්ලා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරු පානදුර, එළුවිල, කිරිබේරිය පාර ප්රදේශයේ පදිංචිකරුවෙකි. පොලිස් විශේෂ කාර්ය බළකායේ නියෝජ්ය පොලිස්පතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත යොමු කළ තොරතුරකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.
විමර්ශනවලට අනුව, මත්ද්රව්ය ජාවාරමෙන් නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් යොදාගෙන එළුවිල, කිරිබේරිය ප්රදේශයේ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී දෙමහල් නිවසක් සහ කිරිබේරිය, කුරුප්පුහේන පාර ප්රදේශයේ පර්චස් 13.5 බැගින් වූ ඉඩම් කැබලි දෙකක් මිලදීගෙන ඇති බවට අනාවරණය වී ඇත. එම ඉඩම්වල වෙළෙඳ වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධික බව සඳහන් වේ.
අදාළ නිවස සහ එය පිහිටි ඉඩම සැකකරුගේ දියණියගේ නමට ලියාපදිංචි කර තිබූ බවත්, ඉඩම් කැබලි දෙකෙන් එකක් 2017 වසරේදී ඔහුගේ සහෝදරියගේ නමට මිලදී ගෙන තිබූ බවත් පොලිසිය පවසයි.
ඒ අනුව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අදාළ දේපළ සම්බන්ධයෙන් දින 14ක කාලයක් සඳහා ක්රියා විරහිත කිරීමේ නියෝගයක් ඔක්තෝබර් 23 වැනිදා සිට නිකුත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.













