මාලදිවයින් රජයේ විශේෂ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 5කට අධික වටිනාකමකින් යුත් අත්යවශ්ය ඖෂධ තොගයක් ශ්රී ලංකා රජය විසින් මාලදිවයින වෙත නිල වශයෙන් ප්රදානය කර තිබේ. සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේදී ඊයේ (22) පස්වරුවේ පැවති මෙම උත්සවයේදී, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා විසින් අදාළ ඖෂධ තොගය මෙරට මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් මහතා වෙත භාරදෙන ලදී.
මෙම ඖෂධ ප්රදානය සාර්ථක කර ගැනීම සඳහා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය යටතේ ක්රියාත්මක වෛද්ය සැපයීම් අංශය, රාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මෙන්ම බටහිර ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය දායකත්වය ලබා දී ඇත. ඖෂධ තොගය භාරගැනීමෙන් අනතුරුව අදහස් දැක්වූ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ශ්රී ලංකා රජය වෙත සිය හෘදයාංගම කෘතඥතාව පළ කළ අතර, දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්රත්වය සහ සමීප සබඳතා ද මෙහිදී විශේෂයෙන් සිහිපත් කර තිබේ. මෙම අවස්ථාව සඳහා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ, සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අසේල ගුණවර්ධන ඇතුළු අමාත්යාංශයේ සහ මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.













