ශ්රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව සහ චීනයේ යුන්නාන් ප්රාන්ත වාණිජ දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ “ශ්රී ලංකා සහ යුන්නාන් ප්රාන්ත විශේෂිත නිෂ්පාදන ප්රවර්ධන සමුළුව සහ ව්යාපාරික හමුව” ඊයේ (23) කොළඹ Cinnamon Life පරිශ්රයේදී සාර්ථකව පැවැත්විණි.
චීන යුන්නාන් ප්රාන්ත වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ලී චාඕවී මහතා ඇතුළු චීන ප්රමුඛ පෙළේ ව්යාපාරික නියෝජිතයින්, වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා වැඩබලන අමාත්ය ආර්. එම්. ජයවර්ධන මහතා, අමාත්යාංශ ලේකම් කේ. ඒ. විමලේන්තිරරාජා මහතා සහ ශ්රී ලංකාවේ චීන තානාපති වේයි හුවාෂියැං මහතාගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. විදේශගතව සිටින අමාත්ය වසන්ත සමරසිංහ මහතා Zoom තාක්ෂණය ඔස්සේ සමුළුව අමතමින් චීන වෙළෙඳපොළ තුළ ශ්රී ලාංකීය නිෂ්පාදන සඳහා වන අපනයන ධාරිතාව පුළුල් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
මෙම සමුළුවේදී දෙරට අතර විශේෂිත අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණු අතර, ඒ ඔස්සේ ශ්රී ලාංකීය ව්යවසායකයින්ට නොමිලේ ගබඩා පහසුකම්, ප්රදර්ශන කුටි, මාර්ගගත වෙළෙඳපොළ ප්රවේශය සහ රේගු නිෂ්කාශන සහන ඇතුළු පැකේජයක් හිමිවේ. එමෙන්ම, 2027 වසරේ පැවැත්වීමට නියමිත 11 වන චීන – දකුණු ආසියානු එක්ස්පෝ ප්රදර්ශනය සඳහා ශ්රී ලාංකීය සමාගම්වල සහභාගිත්වය තහවුරු කරමින් එකඟතා ලිපියකටද අත්සන් තබා ඇති අතර, මේ හරහා තේ, කුළුබඩු, මැණික් හා ස්වර්ණාභරණ ඇතුළු දේශීය නිෂ්පාදන සඳහා චීන වෙළෙඳපොළ තුළ විශාල ප්රවර්ධනයක් හිමිවනු ඇත.














