Dating Apps සහ සමාජ මාධ්ය ඔස්සේ මිතුරු ඇසුර, ප්රේම සම්බන්ධතා හෝ විවාහය අපේක්ෂා කරන පුද්ගලයන් ඉලක්ක කරගනිමින් සිදුකරන මූල්ය වංචා සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස ශ්රී ලංකා පොලිසිය ජනතාවට දැනුම් දෙයි.
පොලිසිය පවසන්නේ වංචාකරුවන් කෙටි හෝ දීර්ඝ කාලයක් පුරා ආකර්ෂණීය පණිවිඩ හුවමාරු කරගනිමින් පුද්ගලයන්ගේ විශ්වාසය දිනාගෙන පසුව ඔවුන් වංචාවලට හසුකරගන්නා බවයි.
සමහර අවස්ථාවලදී Facebook, WhatsApp සහ Telegram වැනි යෙදුම් ඔස්සේ සම්බන්ධ වන වංචාකරුවන්, හමුවීම් හෝ මිතුරු ඇසුර ලබාදෙන බව පවසමින් විශේෂ ජංගම යෙදුම් බාගත කරගන්නා ලෙස පුද්ගලයන්ට බලපෑම් කරන බවද පොලිසිය සඳහන් කරයි.
එලෙස ලබාදෙන ඇතැම් යෙදුම් තුළ දුරකථනයේ දත්ත සහ බැංකු තොරතුරු සොරකම් කළ හැකි අනිෂ්ට මෘදුකාංග අන්තර්ගත විය හැකිය. විශේෂයෙන්ම, හඳුනා නොගත් මූලාශ්රවලින් ලැබෙන Android APK ගොනු ස්ථාපනය කිරීමෙන් බැංකු පරිශීලක නාම, මුරපද සහ වෙනත් සංවේදී තොරතුරු අවදානමට ලක්විය හැකි බවට පොලිසිය අනතුරු අඟවයි.
ඒ අනුව, නොදන්නා පුද්ගලයන් එවන යෙදුම් හෝ සබැඳි විවෘත කිරීමෙන් වළකින ලෙසත්, බැංකු ගිණුම් විස්තර, මුරපද, OTP අංක, පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝ වෙනත් පුද්ගලයන් සමඟ බෙදා නොගන්නා ලෙසත් පොලිසිය ජනතාවට උපදෙස් දෙයි.
සැකකටයුතු යෙදුමක් ස්ථාපනය කර ඇත්නම් හෝ බැංකු තොරතුරු අනාරක්ෂිත වී ඇති බවට සැකයක් පවතී නම්, වහාම තම බැංකුව අමතා ගිණුම් ආරක්ෂා කරගැනීමට පියවර ගන්නා ලෙසත්, සිද්ධිය පොලිසියට දැනුම් දෙන ලෙසත් උපදෙස් දී තිබේ.











