සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි කිං ඛාලිඩ් ජාත්යන්තර ගුවන්තොටුපළ තවදුරටත් හමුදා ඉලක්කයක් ලෙස සලකන බව යේමනයේ හූති ව්යාපාරය ප්රකාශ කර තිබේ.
හූති හමුදා ප්රකාශක යාහ්යා සාරි සඳහන් කර ඇත්තේ ගුවන්තොටුපළ ඉලක්ක කරගත් මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවයි. එබැවින් එම ගුවන්තොටුපළ භාවිත කිරීමෙන් වළකින ලෙස ගුවන් සමාගම්, ගුවන්තොටුපළ සේවකයන් සහ ගුවන් මගීන්ට ඔහු අනතුරු අඟවා තිබේ.
මෙම ප්රකාශය නිකුත් වී ඇත්තේ ගුවන්තොටුපළේ ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම සඳහා නව පර්යන්ත සැලැස්මක් ප්රකාශයට පත් කිරීමෙන් අනතුරුවය. ඒ අනුව, ඔක්තෝබර් 25 වැනිදා සිට පර්යන්ත අංක 1 දේශීය ගුවන් ගමන් සඳහාත්, පර්යන්ත අංක 2 සෞදි ජාතික ගුවන් සමාගම් ක්රියාත්මක කරන ජාත්යන්තර ගුවන් ගමන් සඳහාත් වෙන් කිරීමට සැලසුම් කර තිබේ.
ඔක්තෝබර් 10 වැනිදා ගුවන්තොටුපළට එල්ල වූ බව කියන ප්රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් තවත් 300කට අධික පිරිසක් තුවාල ලැබූ බව සෞදි සිවිල් ගුවන් සේවා බලධාරීන් වාර්තා කර තිබුණි. හූති පාර්ශ්වය එම ප්රහාරයේ වගකීම භාරගෙන තිබූ අතර, ඉන් පසුව ගුවන්තොටුපළේ මෙහෙයුම් අත්හිටුවනු ලැබීය.
මේ අතර, සෞදි අරාබියේ ගුවන්තොටුපළ, වරාය සහ තෙල් යටිතල පහසුකම් ඉලක්ක කරගත් බවට හූති පාර්ශ්වයෙන් ප්රකාශ නිකුත් වී ඇති අතර, කලාපයේ ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් උත්සන්න වෙමින් පවතී.
ගුවන් මගීන්ට තම ගුවන් ගමන්වල වත්මන් තත්ත්වය තහවුරු කරගැනීම සඳහා අදාළ ගුවන් සමාගම් සම්බන්ධ කරගන්නා ලෙස ගුවන්තොටුපළ බලධාරීන් දැනුම් දී තිබේ.












